Wednesday, January 11, 2017

ඇගේ කතාව.

මට ඉස්සෙල්ලාම මතක් වුණා ඉස්සරම දවසක යාළුවොත් එක්ක නාට්‍ය පිටපතක් ලියපු හැටි “මැටිල්ඩා ට මංගල්‍යක්”. ඇයත් මැටිල්ඩා. ඒත් එදා මතු කල හාස්‍ය රසය වෙනුවට අද ඇය විසින් මගේ හදවතේ කරුණා රසය මතුකළ බව පමණක් මට දැනුණා.
ඉතිං පවුලේ ආදායම කියක් විතර තියෙනවද මාසෙකට? මම ඇසුවෙමි.
“ආදායම”බොහෝ වෙලාවක් සංවාදයේ යෙදුන ඇය නිහඬ විය.
“ජිවිතේ හරි පුදුමයි මිස්..”
මා ඇසු පැනයට ඇගේ පිළිතුර මට ප්‍රමාණවත් නොවීය.
මමත් නිහඬව වීමි.කාලයක් පුරාවට කියන්නට තිබුණු කතාවක් කියන්නා සේ ඈ කතා කරන්නට විය. කාලය ඉක්ම ගිය බැව් දැනී දැනිත් මම ඇයට සවන් දුනිමි. ඇත්තෙන්ම සවන් දීමට සිදුවුණි.
කාලෙකින් මම ඔය වචනේ ඇහුවේ මිස්..මම හරිම අකමැති වචනයක්. අපේ ගෙදර තිව්නේ හරි ලස්සන පැත්තක. ගමටම තිබුණ එකම තොග කඩේ තිබුණේ අපිට. පවුලේ එකම දරුවා වුන මම හරිම සතුටින් ජීවත් වුණේ. ඒත් ආදායම - වියදම එක්ක අපේ සතුට නැතිවුණා.
ඇය කතා කරනවා. මම අහන් ඉන්නවා. ඒත් මට කිසිම වැදගත් කමක් නැති දෙයක් මම කරනවා නේද මම මගෙන් ඇහුවා.
“කඩේ අදායම හොදට තියෙන දවසට ගෙදර සතුට වැඩියි වෙනදට වඩා”
“ඒක ඉතින් හැම තැනම එහෙම වෙන්න ඇති අපේ ගෙදරත් ඒවගේ තමයි” මම කීවෙමි.
නෑ මිස්.. මම ජිවිතේ ඉගන ගත්තේ එතනින්.. මිනිස්සු වෙනස් වෙනවා කියලා දන්නවා, ඒත් සල්ලි එක්ක මිනිස්සු වෙනස් වෙනවා කියලා මම තේරුම් ගත්තේ අදායම වැඩිවීම සහ අඩුවීම සමග.
අපේ ගෙදර හරිම වෙනස්. අම්මයි තාත්තයි කතා බහ කරන්නේ අදායම වැඩි දවසට විතරයි. අනිත් දවසට ගෙදර හරිම නිහඩයි. වටින් පිටින් ඇසෙන සුළං හඬ ඇරුණම TV එකවත් එදාට තහනම්. පුංචි කාලේ මම බලන් හිටියා ඇයි එක එක දවස් එක එක විදිහ කියලා. තාත්තා මගෙත් එක්ක කතා කලේ කලාතුරකින්.ඉස්සර මම තාත්තා හවසට එනකම් මග බලන් හිටියා.තාත්තා එක්ක කතා කරන්න.ටිකක් හුරතල් වෙන්න.සෙල්ලම් කරන්න.ඒත් කවදාවත් ලැබුණේ නෑ.අද මගේ දරුවෝ ලබන තාත්තාගේ ආදරේ අබින්දක්වත් මම වින්දේ නෑ.කාලයක් තිව්නා මම ඒ ගැන ගොඩක් තරහෙන් ඉදපු. ගෙදර කොයි තරම් නිහඬද කියනවානම්  මිස්  හතේ අටේ විතර පංතියේදී  මට අමතක වුණා කතා කරන්න. මට වචන නැති වුණා කතා කරන්න.මුලින්ම අම්මා මාව බෙහෙත් ගෙන්න එක්කන් ගියා කියලා මතකයි.ඒත් අන්තිමට මම ගොළු කෙල්ලෙක් උණා. ඉස්කෝලේ 10 වසර වෙනකම් හොදට ඉදපු මම කතා කරන්න බැරි ළමෙක් උනත් මම හොදට ඉගන ගත්තා.
මිනිස්සු වැඩිපුර ආදරේ භෞතික දේවල් වලට කියනවා වගේ මිස් මගේ ජිව්තෙත් වැදගත්ම දවස අවේ මම උසස් පෙළ ලියලා ප්‍රතිඵල එන්න ඔන්න මෙන්න තියෙද්දී.දවසක් මම ගෙදර ඉස්තෝප්පුවේ මකුළුදැල් කඩද්දි මගේ අතින් තාත්තාගේ වාහනේ සීරුණා. එදා තමයි මිස් මම ඔය ආදායමත් එක්ක තරහා වුණේ.
මම සවන් දෙමින් හිටියා. ඇය කතා කළා මම අහන් ඉන්නවා කියලා දැනුණ නිසා වෙන්න ඇති කියලා මට හිතුණා.
ඉතිං මොකද වුණේ ඔයා හිතලා නෙමෙයිනේ කළේ. මට කියවුණා. මද සිනහවක් පෑ ඇය මිස් තාම පුංචියි. මිනිස්සු ගැන තව ගොඩක් තියෙනවා ඉගන ගන්න මිස්ට. මම හිතලා කළේ නෑ කියලා මිස්ට තේරුණාට එදා මගේ තත්තට තේරුණේ නෑ මිස්. තාත්තා කතා කළා එදා. එදා මට හිතුණා මේ යකඩ ගොඩ තරම් වටින්නේ නැති ගෙදර මම මොකට තව ඉන්නවද කියලා.මම එදා ගෙදරින් පැනලා අවා මිස්.
මට මහා පුදුමයක් හිතුණි.ගෙදරින් පැනලා එන්න තරම් ලොකු දෙයක්ද ඒක මම මගෙන්ම ඇසුවෙමි.
“ඇයි ඔයා එහෙම කළේ? හැම ගෙදරකම ප්‍රශ්න ඇතිවෙනවා.ඒක සාමාන්‍යයි”
මට ගොඩක් මතක නෑ. ඒත් මට මතකයි තාත්තා කියපු ඒ වචන. හරියට කවුරුහරි මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ.
“ මම කිව්වා මේ කාලකන්නි කෙල්ලව ළමා නිවාසෙට දාමු කියලා.තමුසෙට ඕනි උනානේ ගෙදර තියාගන්න. මේකි මේ ගෙදර ඉන්න කම් අපිට අදායමක් නෑ. හම්බකරනවා වියදම් කරනවා විතරයි.කඩේ අදායම වැඩිවෙන්නෙත් නෑ. මේකිගේ කරුමේ අපිටත් ඵල දෙනවා.”
“ටිකින් ටික තාත්තගේ හඬ ඇහෙන්නේ නැති වෙනකොට මම පාරට ඇවිත් ඉවරයි මිස්.” ඒ මම මතක විදිහට මම ගෙදර ඉදපු අන්තිම දවස.
“අනේ මන්දා මට හිතෙන්නේ ඔයා වැරදයි. ඔයාට ඉවසන්න තිව්නා. ඒ ඔයාගේ තත්තානේ”
“අද මටත් එහෙම හිතෙනවා වෙලාවකට.ඒ මම දැන් අම්මා කෙනෙක් නිසා වෙන්න ඇති සමහර විට”
“ඒත් මම මගේ ජිවිතේ ගැන අද සතුටු වෙනවා. මම ජිවත් වෙන්න පටන් ගත්තේ එදා ඉදන්. මම මගේ රත්තරන් බඩු උකස් කරලා සල්ලි අරන් අවේ ගම්පහට. ඇවිත් බෝඩිමක් හොයන් නැවතුනා. කාත් කවුරුත් නැති කෙනෙක් වගේ මම ජිවත් වුණේ. ටික ටික මට අළුත් යාළුවො හම්බුණා. මම මගේ ජිවිතේ විදින්න පටන් ගත්තා මිස්.”
“කාලය ගෙවුණා. මම ගෙදරින් ඇවිත් අවුරුදු දෙකකට පස්සේ දවසක් මට අම්මාව මතක් වුණා. මම ගියා අම්මාව බලන්න. ඒත් මට බැරිවුණා අම්මාව දකින්නවත්. ජිවිතේ ඔහේ ගෙවිලා ගියා. සතුටිනුත් නෙවි ඒත් අසතුටිනුත් නෙවි.”
“මම කසාද බැන්දා. පිරිමි කියන චරිත මට එපා වෙලා තිව්නේ තාත්තා නිසා. ඒත් මම බැන්දා එතකොට මට 24. ඒකත් ජිවිතේ ගත්තු හිතුවක්කාර තීරණයක්. ගෙදරදී ගොළු කෙල්ලෙක් වුන මට  ඒ වෙද්දී ටිකින් ටික අයෙම කතා කරන්න පුළුවන් වුණා. ඒත් මම බැන්දේ ගොළු මනුස්සයෙක්. අදටත් එයාට කතාකරන්න බෑ. ඒත් අපි දරුවොත් එක්ක සතුටින් ජිවත් වෙනවා.”
මම ඇයට බාධා නොකළෙමි. එක හුස්මට කියවන ඇය දෙස මම නිකමට මෙන් බැලුවෙමි. ඒත් වෙහෙසක් පෙනෙන්නවත් නොතිබුණ ඇගේ වතින් මම සතුටු සිනාවක් දැක්කෙමි.
“ඇයි” මම ඇසුවෙමි.
මට දැනුයි මතක් වුනේ මිස් අවේ සමීක්ෂණයට කියලා. මම ඔහේ කියෙව්වා මිස්.
කමක් නෑ මාත් අහන හිටියේ ආසාවෙන් ඔයාගේ කතාව. මම දෙයක් අහන්නම් කමක් නැද්ද?
මොකක්ද මිස් !
“කතා කරන්න බැරි ගොළු කෙල්ලෙක් වුන ඔයා එක පාරටම ගම්පහ ඇවිත් අලුත් ජීවිතේට හුරු වුනේ කොහොමද ? මට හරිම පුදුමයි.”
“ඔයාට හිතුනෙම නැද්ද එක දවසක්වත් අම්මියි තාත්තයි ලඟට ආයෙම යන්න”
“ඔයා තවමත් හිතනවද ඔයා ගෙදරින් පැනලා අපු එක හරි කියලා”
“අම්මයි තාත්තයි දැන් වයස ඇති එයාලව ඔය නේද බලන්න ඕනි දැන්”
මම ඇගෙන් ගොඩක් දේවල් ඇහුවා මට මතක වුණත් ටික වෙලාවක් නිහඬව සිටි ඇය ඒ සියල්ලටම දුන්නේ එකම පිළිතුරක් පමණයි.
ජිවිතේ මට දෙයි කියලා හිතන් ඉද්දි මට ලැබුණේ මට ලැබෙන්න තියෙන දේවල් මිස්. එත් මම ජිවත් වෙන්න පටන් ගත්තාට පස්සේ මම මට ඕනි දේවල් ලංකර ගත්තා. මම මට හොදයි කියන දේ කළා.ඒකයි මම අද මෙතන ඉන්නේ. මම මගේ අතීතය ගැන පසු තැවෙන්නේ නෑ.
අම්මලටත්  මම සලකනවා. හැම මාසෙම සල්ලි යවනවා. ඒත් මම වත් දරුවෝ වත් යන්නේ නෑ බලන්න.මම දන්නවා මම  මගේ දරුවොන්ට හොද අම්මා කෙනෙක්.
මට ඇය ගැන පුදුම සිතුණි. මට ඇයට කියන්නට බොහෝ දේ මතක් වුණාද තමන්ගේම මතය නිවැරදි යැයි සිතා සිටින ඇය සමග වාද කිරීමෙන් ඵලක් නොවන බව මා පිලි ගන්නා නිසාම නිහඩ වුයෙමි.

නමුත් දෙහොරවකට පසුව මම ඇය සමීපයෙන් නික්මුණද මම ඇයව මා සමගම රැගෙන ආවෙමි. කොළඹ අහස යට ඇය මේ මොහොත්තෙත් හුස්ම ගන්නා බව සනිටුහන් කරමි. ඇගේ කතාවේ සත්‍ය හෝ අසත්‍ය මා විනිචය කර නොමැති මුත් ඇය අදටත් වචන කිහිපයක් හෝ කතා කරන්නේ ගොත ගසමින් බව ලියා තබමි.











No comments: