Sunday, July 22, 2018

සිනාසෙන නුඹේ මූණ පෙනුණා

රෑක අහසේ වෙනදා වාගේම
නිවි දැල්වෙන තරුත් තිබුණා
අදුරේ නොපෙනුන පුරුදු අටවක
වළාකුළකට මැදිව තිබුණා

පුරත් අවපස නොවී වෙනසක්
අහස හැම දා ඔහේ උන්නා
එළිය අදුරට දොසක් නොකියම
පොළොව කොහොමත් දරා උන්නා

නිසල දියවර සේල රන් සළු
හැඩට සිතුවම් මවා පෙන්වා
අහස සද දියෙ කැළුම් අතරින්
රහසේ ඇවිදින් වැළද ගත්තා

සුළගේ නැළවෙන තුරු ලතා මත
ලසෝ හද බැති සුසුම් රන්දා
නිදා නොනිදන නෙතින් අවදිව
සරා සද පුර දිනක් මැව්වා

සිසිල සියොළඟ වෙලී දැවටී
කොපුල් විලිබර සෙයක් දැනුණා
ගගේ ගං දිය රළැති අතරේ
සිනාසෙන නුඹේ මූණ පෙනුණා

ලොවක මැද ලොව දහක් අතරේ
පුරුදු සුපුරුදු සෙයක් සිතුණා
නොපෙනි නොදැනී කොහේ දිව්වත්
අහස හැම තැන ඉහළ තිබුණා


නෙල්ලි



තිත්ත බව දැන දැනම
නෙල්ලි කුමට කම්ද
පැණි රසක් තිබු බව
මතකයි අම්මා විටෙකදි කීව
නේක රස ඇති අසා ඇති වුව
කොහිද ඇඹුල් වත්
නොදැනුන මිසක
දැන දැනම තිත්ත වග
පැණි රසයි කියයි නුඹ
ඉදින් තිත්තම නෙල්ලී
විටෙක නෙක රස වුව
තිත්තටත් අම්මා මතකයි
පෙම් කළා කිවා දිනෙක
දැන දැනම තිත්ත වග
අම්මේ මට තිත්තම
පැණි රස කුමට
නුඹ තරම්ම කොහොම
පෙම් කරමි මම
මට නෙල්ලි කුමකටද?



Monday, July 16, 2018

ඒත් ඒ හිස්තැන් ය

හිස් මහ හුඟක් ඇති විටෙක වුව
එකම එක හිස් හිස්තැනක්
තියෙන්නට හැක
පිරුණ බව පෙනී නොපිරුණ

ඒ ඒත් හිස් හිස්කමක් විය හැකි තැනෙක ඇස්බැදුම් පුරාවටම
පෙළගසනු ඇත ඒ සිත ය
ඒත් ඒ හිස් කමක් ය

කඩතුරා හැර හිස් අතර හිස්ම
හිස්තැනක් ව නොනවතින තුරු විටෙක
හිස්තැනක හිදැස'
ඇහිපිල්ලමක් පමණක් ය දුර ය
ඒත් ඒ හැම හිස්තැනකම
එකින් එක වෙනස් ය

හිස්තැන් ය

ඒක ලස්සන හීනයක්


එතැන තියෙන්නේ ජීවීතේම නෙමෙයි
ඒත් ඒ ජීවීතේම උණ මතකයක්
ආදරේ කියන්නේ හැගීමක්ම නෙමෙයි
ඒත් ඒ විතරමයි හිස්තැනක්
හමුවීම් කියන්නේ මවාපෑමක් නෙමෙයි
ඒත් ඒ හදවත් කතාකිරීමක්
දෛවය කියන්නේ පැවැත්මක් නෙමෙයි
ඒත් ඒ හැම විශ්වාසයක්
සොබාදම කියන්නේ වචනයක් නෙමෙයි
ඒත් ඒ පුදුමයි අහම්බයක්
වෙන්වීමක් කියන්නේ නැවතුමක් 
නෙමෙයිඒත් ඒ නැවතුමක් නැති විරාමයක්
මම කියන්නේ එකම ඒක කතාවක් නෙමෙයි
ඒත් ඒ “ඒක ලස්සන හීනයක්”



සෙනෙහස් බැදුණූ ජීවීතයයි

සුදු මල් සිනා විසිරුණු මුව දසන් පෙළ
සුරතල් කතා තෙපළන් නිති මිටින් හළ
නිකලැල් සිතුම් හද පිරෙනා ගිමන් හල
සෙනෙහස් බැදුණූ ජීවීතයයි පුතු දෙපළ

විටෙකදි රවන විටෙකදි විත් සිනාසෙන
ඉදහිට නොවේ සැමදා සුපුරුදු දග කරන
දොඩමළු බසින් දොම්නස් සිත් මග හරින
විස්මය කිම්ද අරුමැසි නුඹ මුව රැදුන

ලෝකය අදුර මොහොතක වුව එළිය දෙන
හිරු සදු වෙලා සැම සිතකම ලැගුම් ගෙන
කාලය ගෙවෙන සේ නොදැනෙන සෙනේ ගෙන
විකසිත වෙනා මල් කැකුළකි නුඹ දෙදෙන

කිචි බිචි කතා ගෙනහැර සියොතුන් වාගේ
සරදම් සිනා එක්කොට දගකම් හපනුන් වාගේ
පාඩම් අකුරු කෙලි සෙල්ලම් කරනා වේලේ
එකතුව දුවමි විගසින් මම බාලේට මාගේ

ගිමනේ නිවී සොයනා හැම හැන්දෑවේ
ඈතින් ඇසේ පිංචි ය විමසන රාවේ
ජනනී නොලද මුත් හද ස්නේහය වෑහේ
දූ පුතු නමින් මේ ගී ආසිරි පිදුනාවේ....


ඈ ලෝකය දෙස නොබලා

සිත් තුල මෙත් මල් පිබිදේවා...!
ලස්සන සිරියයි වෙසගේ
දුටු නෙතගින් මන පිනවයි
දිලි දිලෙයි නෙක පාටින්
ආසිරි පවනයි මේ සැලෙනා 
සද එළියෙන් නැහැවී
ඒ තරමට ඒ වරුණාවන් මවලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
පාට පාට ගැන හරි හැඩ කරලා

රෑ කළ අදුරේ සිසිලස ගත
සිප ගන්නා
වෙනසක් නම් නෑ දැණුනේ
එක වාගෙයි හැමටම
හද එළියයි සා පැටවුන් රුව මවලා
තුරුවැල් නැළවෙන වාගෙයී
ගී පද බැදි අමුණාලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
ආකාසේ රූ සිතුවම් හද බැදලා

යන එන කවුරුත් ආවත් නාවත්
වෙනසක් නෑ එක ලෙස සලකා
රන්වැලි සිරිමා බෝ සමිදුන් වැදළා

ගයන්න දන්නේ කොහොමද අම්මේ
මේ හැටි ලස්සන පිරියම් කරලා


ලෝකෙම දකිනා මට නම් නෑ
ඒ වගේ ලස්සන වදනක්
කියන්න කව් ගී අමුණාලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
ඈ ලෝකය දෙස නොබලා

කරුණා මෙත් සුව දැනෙනා හදකින්
ඈ ලෝකයේ රුව දැකලා
නෙතගින් නොදකින අපි දකිනා හැම
දුටුවන් සේ මිහිරැති පද බැදලා
නොපෙනුණ රන්වන් සද එළියේ
සිසිලස ලැබ වෙසගේ සිරි මවලා
ජීවත් වෙන්නයි පුතුනේ
ගයන්නේ තොරණේ ලස්සන කවි ගොතලා



ඒ ඔයාගේ ඇස්

ඒ ඇස්
කවදාවත් ම හැරුණේ නෑ
ඒත්
ඒ ඇස්
හැමදාමත් ම දිලිසුණා
අහම්බෙන් වත් මුණගැහුණොත්
විදුලියක් සේ ගැස්සුණා
බලා ඉන්නැද්දීම ඈත බලාගෙන
අනන්තය ළග නැවතුණා
ඒ ඇස්
හැමදාමත් ම මුණගැහුණා
ඒත්
ඒ ඇස්
ඈත කොහෙදෝ බලාගෙන උන්නා
කැල්මෙන් කැල්ම ගැටෙද්දිම
නොදැනෙන්න හිනැහුණා
අහම්බෙන් වත් මුණගැහුණොත්
බලා ඉද්දීම දුර ඈත හොයාගෙන දිව්වා....
ඒ ඇස්
ලෝකයම ළග හිනහුණා
ඒත්
ඒ ඇස්
හදවතින් හිනහෙනා කල
නොදැනීම පියවුණා
හිනාවෙන සද ලස්සනයි
හිනාවෙන් නැතිවම උන්නා....




රැයකි මේ සුන්දර

හිමින් සිසිලස ගෙනෙන
මටම පමණකි මේ හුළග
ඒ විදිහටම කාටවත් දැනේදැයි
නොදැනෙන ලොවක

සැණින් නික්මෙන මොහොතක
කාලයක ඉසිඹුව අපූරුය
ගෙවෙන හැම මොහොතම
මට වගේමයි නැතිකොට

හිතේ අස්සෙම කොණක
ගැඹුරුම තැනක සියුමැලිව
සැතපෙන්න මා වෙලා මහද
ලෝකයම මට මමම වූ කල

වර්ණ හැඩතල උවම් කළ වුව
කවුරු කවුරුත් අවැසි තරමට
රාත්‍රීයට නෙළුමක් ය මුකුලිතව
උදෑසනකදි සුවදක් ව පිපෙන්න

දිගුය ගමනකි රැයක් මේ සුන්දර
හදේ සිතුවම් අවදි කරනට
ලොවට මා නොව මටම මා ළග
මමත් හමුවූ තක්සලාවක


ජීවිතය

මග හැරුණු හුඟක් දේ අස්සේ
හොයාගෙන කලාවක්
හුඟ දෙනෙක් දුවනවා
නිනව්වක් නැති ගමනක්


එදා ඉරිදාවක්

පමාවෙලා ළාහිරු වැටෙනකම් මග බැලුදා
නිදි බරින් වෙළුණු නෙත් පියන් හැර පිසදා
සුදෝ සුදු මල් කැකුළක්ව පිපුණේ සුවද විහිදා
පුංචිම දවස් වලත් අද වගෙයි සුපුරුදුම ඉරිදා

ගුණ සුවද විහිදන්න ලොව හැමදාම එක ලෙසට
ආදරය පතුරන්න හදින් ලොකු පුංචි සැම දෙනට
මම මගේ විතරක් නෙමෙයි එකා වන් අපි අපිට
පිටු අතර පාඩමක් පමණක්ය හැබෑ ජීවීතේට

හරි වැරදි කිසිත් නොපෙනෙනා ලොවක් ළග
හැම දෙනම නිහඩයි මුණිවතක සරින හිද
මල් කැකුළු පීදෙන්නේ මහ ගහේ සෙවණේ ළග
යුතු අයුතු කිසි නොසලකන හිස්ම හිස් වචන මැද

ජීවීතේ ලස්සනම සය වසක මතකයන් හැම
විතරක්ම සතොසින් රුවාගෙන හදවතේ මැදම
පිපෙන මල් සුවද විද හෙටත් සිනාසී අද වගෙම
ඉරිදාව සමුගතිමි මතකයෙන් සනිටුහන් නොයාම


Friday, July 6, 2018

කතා කරන සිතුවිලි

කාලය ගෙවෙනවා හරිම ඉක්මනට. මේ ගෙවෙන දවස මට එකම එක දවසක් විතරයි. ඒත් මගේ වටා මුළු ලෝකයටම ඒ ගෙවෙන්නේ මහා ලොකු කාලයක්. ජීවීතේ මොහොතින් මොහොත වෙනස් වෙන බව දැන දැනම ජීවත් වෙන්න තියෙන පුංචිම කාලේ මට මාව ජීවත් වෙන්නේ නෑ කියලා දැනෙන සරුවපිත්තල ලෝකයක මට කොහොමවත් බෑ ජීවත් වෙන්න. ලෝකය ලස්සන ලස්සන පාට ගැන මගේ ඇස් වලට පේන්න ලස්සනට පෙන්නුවට හැමදාම වගේ මම තාමත් ආසම සුදුපාටට. තට්ටුවෙන් තට්ටුවට රූසිරි පිරුණ මාලිගා ඇස් ඉදිරියෙම මවා පෑවට මම ආස අපිට නිදහස දැනෙන පුංචිම ලෝකයකට. ඉස්සරහම ඉස්සරහා ඉදගෙන අව් කණ්ණාඩියෙන් එළිය බලාගෙන වේගයෙන් ධාවනය වෙන ජීවිතයකට මාව ගොඩකරන්න ලෝකයම වෙහෙසුණාට මට ඕනී හුළග ගහකොළ සොබාදහම විදගෙන කාලය ගත වෙනවා දැනෙන්නෙම නැතිව හිමින් හිමින් කියව කියව මහන්සි දැනෙනකම්ම ඇවිදින්න. මාව ඉස්සරහයින්ම තියලා මගේ මුළු ලෝකයම මහා ලොකු හීන දකින බව මං දන්නවා වුණත් ආලෝකය දෙන්න හිරු පායයිද දන්නේ නැති හෙට ගැන හීන මවන්නේ නැතිව මට ඕනී එළඹුණ අද දවසේ ඇත්තටම ජීවත් වෙන්න.
එකම ප්‍රශ්නයකට එකම පිළිතුර හැමදාම එකම විදිහට ගලපන්න පුළුවන් තරම් ජීවීතේ සරල වුණානම් කියලා හිතෙන තරමට එකම එක ප්‍රශ්නයකට පිළිතුර ද කල් ඉකුත් වෙමින් තිබෙන බව මට දන්නවා. මට තියෙන්නේ පුංචිම කාලයක්..මට මාව අහිමි වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩියි.
එත් මං ගැනම හිතලා ආත්මාර්ථකාමී වෙන්න මට බෑ. මට හිතන්න තව මං නිසාවෙන් ජීවත් වෙන ජීවීත තියෙනවා. මගේ දිහා බලාගෙන පිපෙන මල් තියෙනවා. නිකම්ම නිකම් මුකුලිත වුණොත් මම ඒ හැමදේම කදුළක් වෙනවා. ඉතිං මම ජීවත් විය යුතුයි ඔවුන් වෙනුවෙන්. ඒ වුණත් මං දන්නවා ඇස් කතාකරන්න හදද්දීම නොදැක්කා වගේ ඈත බලාගෙන ඉන්නවා. ඒත් මම බලාගෙන ඉන්නවා ඈත බලාගෙන ඉන්න ඔයාගේ ඇස් දිහා. වචන එකින් එක තෝරලා කිසිම ගැළපුමක් නෑ කියලා දැන දැනමත් වචන හොයාගෙන කතා කරනවා ඒත් එක මොහොතකින් ආයෙමත් අපි අතරමැද නවතිනවා. ඒ දැන දැනත් මම කල්පනා කර කර වචන හොයනවා.
ජීවීතේ කියන්නේ එක නැවතුමක් නම් හෙවණ හොයන හැමෝමට හෙවණ දෙන්න මටත් පුළුවන් කියන්න මට තිබුණා. ඒත් මට ජීවීතේ ඊට වඩා දෙයක් දැනෙනවා ඒ අපි ළග ඉද්දී කාලය ගෙවෙද්දී. ඒකයි මම ජීවීතේ දැනෙන්න ඕනී කියන්නේ. ඒ දැනෙන ජීවීතේ තියෙන්නේ කවුරුත්ම කියන කවුරුත්ම මවා පෙන්වන යසස ඉසුර ළග නෙමෙයි ආයාසක් නැතිවම දැනෙන පැහැදිලි කරන්න නොතේරෙන නොදැනීමක් ළග.
ඒත් මට තියෙන්නේ හරිම පුංචි කාලයක්. අද නික්මෙද්දී හිතෙන්නෙම හෙට අපි වෙනුවෙන් ජීවත් වෙන්න මට නොලැබේවී කියලා. ජීවත් වෙන්න ජීවිතයක් නැති ලෝකේක මට ජීවීතේ පටන් ගන්න වෙයි කියලා. කාලයත් එක්ක මට අරගල කරන්න බෑ.
ඒ වුණාට මම ආස ඔයත් එක්ක මේ ජීවීතේ ඉස්සරහට යන්න. හැංගිමුත්තන් කරන ඔය හැගීම් හිතට කතා කරනවා කියලා දැන දැනත් නොදැනීම ඉද්දී ලෝකය දෙන තැනක මට ජීවත් වෙන්න හුරුවෙන්න වෙනවා මට මාවම අමතක කරන්නම වෙනවා. මට අපි එක්ක නවතින්න බැරි වෙනවා. ජීවීතේ හොයාගෙන ගිහින් මම අතරමැද අතරමං වෙලා තියෙනවා.ආයෙමත් අතරමං වෙන්න මං බයයි. 
ඒ උණාට ඇත්තටම මම ආසයි ඔයත් එක්ක මේ ජීවීතේ ඉදිරියට යන්න. ඔයාවෙනුවෙන් ජිවත් වෙන්න නෙමෙයි අපි එක්ක සතුටින් ජීවත් වෙන්න. අකුරු,වචන දවසින් දවස වෙනස් කර කර මං පුළුවන් විදිහට පැහැදිලි කළා වෙන මොනවත් ම නිසා නෙමෙයි මමඔයා නෙමෙයි අපි ළග අපි ජීවත් වෙන බව දැනෙන නිසා. ඒත් මට වෙලාව අඩුයි...බලාපොරොත්තුවක ජීවත් වෙන්න...

අද මම විතරක් වුණාට හෙට මා වෙනුවෙන්ම ලෝකයා විසින් නිර්මාණය කළ ලොවක හුස්ම ගන්නට මට නොහැකියි. අපි අපිම නිර්මාණය කළ අපේම ලෝකයක ජීවත් වෙන්න මම ආසයි...















පසුතැවිලි

මරණයේ බිය දැණිනි. නමුත් කිසිවක්ම නොකළ බව විටින් විට සිහිගන්වමින් හිත කීරී ගෑවේය. බලාගෙන ඉද්දීම අසරණයෙක් අවසන් හුස්ම හෙළුයේ ඇතිවන සියල්ල නැතිවන බව පසක් කරවමිනි. නිදහසට කරුණු එකින් එක පෙළගැසෙණ මුත් ඒත් පණගැහුණු ජීවීතයකි.
නොකියාම නොදැනීම මෙලෙස එන වග දන්නේ නම් එන මග වළක්වන්නට තිබුණි. ඒත් ඇවිත් තිබුණි. ඇතැම් විට දුක සැප හැමදේම එකිනෙක පුරුදුව ගෙවූ ජීවීතේ වෙනසක් සොයාගෙන ආවා වෙන්නට පුළුවන. නමුදු ආයේමත් යන බලාපොරොත්තුවක් වත් දෙන්න නොහැකි බව දැනුණ නිසාවෙන්ම දොරගුළු විවර කළෙමි. ඒත් නොගියේය. වරක් දෙවරක් නොව කිහිප වරක් මාර්ගය පෙන්වූයේමි. එහෙත් නොගියේය. ජීවත් වන අවසන් මොහොත බව නොදැන නිමේෂයකට දැනුණ සිසිලසින් නැහැවෙවී සුව වින්දේය. බලා ඉන්නට බැරිම තැන එළියට ඇද දමන්නට උත්සහ කළෙමි. ඒත් දෑගීළී බදාගත්තේය. ආයෙමත් ආවේය.
මොන සුවයක් සොයා ආවාද නොදනිමි. ඒත් මරණය සොයා පැමිණි වග දැනුණි. හසරක් නොදැන ටිකින් ටික ඉදිරියට යන දෙස බලා ඉද බැරුව අලුත් නවාතැනක් සොයා දීමට ඉටා ගත්තෙමි. වා කවුළු පමණක් දී හුස්ම ගන්නට දෝතට ගුලි කරගතිමි. ඒත් වැඩි වෙලාවක් නොරැදිණි. අතරින් පතරින් පැන නිදහස සොයා ගියේය. කිසිවක් කළ නොහැකි කල අතැර දමා බලා සිටියෙමි.
ගෙවෙන තප්පර ගැන හැගීමක් නැතිව ඇති තරම් ප්‍රීතීමත් වනු බලා සිටියෙමි. සනුහරේ ළග උන්නේ නම් බෙදාගෙන කන කෑම තනිවම රස බලනු බලා සිටියෙමි. සතුටින් වෙන්නැති සිතුණෙමි. ඒත් මරණය කොයි මොහොතේ හෝ විය හැකිය සිත කෑ ගැසුවේය.
අතැර දැම්මාට දෝතින් විසිකර සිතින් බලා සිටිණු බව දැනුණෙමි. නැත, හිමි තරම් කාලයක් ජීවත්ව මියෙදෙයි.සියල්ලම එලෙසයි. සිත පහදාගෙන ඈත බලා සිටියෙමි. කොයිතරම් දුර ආවාදැයි මතකයක් නැත. ඒත් ගමනාන්තයට ළං වන්න හෝරාවක්වත් අවශ්‍ය බව මතකය. ආයෙමත් සොයන්නට මතක් වුණෙමි. සෙව්වෙමි. පෙනෙන තෙක් මානයේ හැම තැනම සෙව්වෙමි. සොයා ගන්නට නැත. තවත් සෙව්වෙමි. නැත. මියෙන්නට ඇත්ද ඒත් ජීවත්ව සිටීද නොදනිමි. ජීවීතයක නිම්හිම් සියල්ලම අතැර මියදුණ ජීවිතයක් ඇස් කොණකින් දුටුවෙමි.
හදිසියෙන් පිදුරුතලාගල සේ කඩා වැටී හුස්මක් නතර කර අසුන මත ඈ වාඩි වී සිටින බව ඈ නොදන්නා බව පැහැදිලිව දනිමි.

පව්..! ඌ ජීවත් කරවන්න තිබුණි. ආයෙමත් සිත කීරී ගසනවා දැනුණි.

Thursday, July 5, 2018

සබඳ නුඹ

සබඳ නුඹ සුළගක් ය 
දාහයෙන් නිවාහල සිසිලසින් සිඹින
හදතුටින් වෙලාගත් කළ
දුරින් මැව් අරුමැසි ය මියෙන

සබඳ නුඹ කවියක් ය
එළිසමේ ප්‍රතිභාව පදරුත් ද රැකුණ
හිමි හිමින් විදිනා කළ
එකින් එක පදරුත් ය ඉහිරුණ

සබඳ නුඹ සිහිනයක් ය
සිතුවම් මවා බලාපොරොත්තු ගෙනෙන
ඇසින් පිය ඇසිල්ලෙන කළ
මම මාවම නුඹගෙන් දකින

සබඳ නුඹ ලෝකයක් ය
මටම නොව සැමටත් ස්නේහයම දෙන
හදින් විදිනා මොහොතකදි වුව
ජීවීතේ නම් එයම ය විටෙක

සබඳ අප ගමනක් ය
නුඹ නැතිවම හුදෙකලාව දැනෙන
ගත වෙළා ළග නොසිටියද
සිත් පුරා නුඹම ය නොයාම හිදින..