Friday, October 20, 2017

බසය නුඹ පණ ගන්නේ වියලි මගෙ කදුළු කැට....

ඔච්චමට වගෙ ඇවිත් හැමදාම නෙත්    ඉදිරියට
නලා හඩ නගන්නේ මං එන්නෙ නැති    රථයට
දැන දැනම අතර මග නවත්වපු බැව්     සරදමට
මං ඔහේ ගොඩ වුණා හඳපාන්ගොඩ      බසයට

අහම්බෙන් මුත් මොකද මග දිගට        පෝලිමේ
වෙනදටත් වඩා වැඩි රථ තුන්මුල්ල          රවුමේ
මග සොයා හරවද්දී ඉක්මනින් මෙල්      මායිමේ
ඇස් දෙකම පියවුණා නොපෙනෙන්න     ජීවීතේ

ඉස්සරම දවස් වගෙමයි තාමත් මග           ලකුණු
හොය හොයා ඇස් දුවන්නෙම පෙම්          පිරුණු
දැන් කොහිද විමසද්දි එකින් එක නුඹ කී   කරුණු
හැමතැනම හිනහුණා ඇදිනගෙන වගෙ      තිබුණූ

මං යනවා දැන ගෙනද නොකිවත් හොර     රහසේ
බස් එකත් ඔහෙ යනවා මගෙ මතක           පස්සේ
බොරැල්ලෙන් පහුවෙලා කොස්වත්ත         ඔස්සේ
කෙටි මගක් සොයා ගෙන හැරවුණා           රිසිසේ

හීනයක් වගෙමයි කොහුවලට                     හරවද්දී
මතකයිද නෙතු ඇහුවා කඩ පෙලක්           පහුවෙද්දී
මැවී මැවී හිල්ලුණා නුගේගොඩ බෝ සමිදු      පේද්දී
මතකයට ආවේම අතීතය හමුවුණා       ගොම්මනෙදී

කළුවර ඇවිදින් නික්මුණත් හිරු                   අහසින්
දැනුණේම නෑ අදුරුයි ලෝකයම                එසැණින්
හැම තැනම පුරුදුයි අදත් කිවි දාය                 දවසින්
නුඹත් දැන් මගැති සිතුණා ගෙදර එන           විගසින්

කොළ හැලී දළු දාන මීපේ බෝධීයේ අතු        රිකිළී
ගැස්සුනා මං ඈතින් දකිද්දීම හිත                  ඇවිලී
හැමදාම සිතියමක ආ නමුත් මග දිගට           පැටළී
නුඹ එක්ක ඇදි සිතුවමක ඇත තාම දූලී         බැදිළී

ලස්සනම හීනයක් විය ජීවීතය හැඩ               කරපු
තව දුරට යන්න බෑ මතකයන් බොද              කරපු
එකොළහක යොදුන් දුර ඉස්සරම අපි            ගියපු
ඇය ඉන්නවා අද මං අහුරාන තුටින් පිය        නගපු

මහ හුගක් පැතුම් මල් කැකුළු විය          පිපෙන්නට
වසන්තය ඇස් බැන්දා ගිම්හාන                  සෘතුවට
එකින් එක පුංචි මල් මිලින වී                   රස්නෙට
මියදුනේ දුක් කදුළු බැරිතැනම                 උහුලන්ට

හෙටත් අද පුරුදු ලෙස හැමදාම                   හවසට
මං එන්නේ නික්මෙන්න තකහනියෙ            නිවසට
හදිසියෙන් වගෙ ඇවිත් හෙටත් නෙත්         මානේට
බසය නුඹ පණ ගන්නේ වියලි මගෙ කදුළු        කැට

තවත් දුර යන්න තියෙනවා යනවනම්         නැවතුමට
මග දිගේ නුඹ කියූ පුරුදු මං ලකුණු                  එමට
අර පෙනෙන වක් ඔයේ දිය ආදරේ කදුළු           කැට
හිත කීවේ බහිද්දියි හදිසියෙම මීපේ දි                 මට