Monday, July 23, 2018

සොඳුරේ මම තාම අපිට පෙම් බදිමි

මා ලියන හැම කවියක් ම - නුඹට බව මම නොකියමි
ඒත් ඒ කවි හැම පෙළක - අපි සිටින බැව් මම හදුනමි

මතක පමණක් තියා මා ළග - නික්ම නුඹ ගිය බව දනිමි
යලි ඒවී නුඹ මා ලොවට - සොඳුරේ මම දැන් නොසිතමි

හිතේ ගැඹුරෙම තැන එතැන- තවම නුඹ සිටින වග දනිමි
නොයා නුඹ වගෙම මමත් - නුඹ ළගද මම නොඅසමි

නෙතින් නෙත දුර වුව  - සිත් හදින් හද බැඳි සුව විදිමි
කියාගන්නට නොහැකි තැන - ඉතිං කවි පද බඳිමි

සිහින සුව දී පැතුම් රන්දා - නික්මී නුඹ මම නොසොයමි
පැරණි මතකෙක ඔස්සේ දුවමින් - අපිත් එක්කම සිනාසෙමි

පිපෙන කුසුමක් වේද ලොව හැම- පරවෙනා සොබාදම දනිමි
සිනාසෙන්නට කදුළු දුන්නද - සදා නුඹ මුව සිනාවන් පතමි

වැයෙන සත්සර සබැදි කව් පද - විටෙක අපි සොයන වග සිතමි
එවිට විගසින් ඇවිත් නවතින - නුඹ ට මම තව පෙම් පුරමි

විටින් විට හිත වෙලා රිදවන - නුඹට මගෙ මම රිදුම් නොපතමි
ගැහෙන හදකින් පෙම් විඳින්නට - දිනෙක නුඹ ලොව දුවක පතනෙමි

යලිත් පෙරමග බලා එන්නට - අපිට අපිවද නොබැඳි බැව් දනිමි
කලක් ඉකමව ගියත් මතකෙන් - සොඳුරේ මම තාම අපිට පෙම් බදිමි





Sunday, July 22, 2018

රෑක අහසේ වෙනදා වාගේම
නිවි දැල්වෙන තරුත් තිබුණා
අදුරේ නොපෙනුන පුරුදු අටවක
වළාකුළකට මැදිව තිබුණා

පුරත් අවපස නොවී වෙනසක්
අහස හැම දා ඔහේ උන්නා
එළිය අදුරට දොසක් නොකියම
පොළොව කොහොමත් දරා උන්නා

නිසල දියවර සේල රන් සළු
හැඩට සිතුවම් මවා පෙන්වා
අහස සද දියෙ කැළුම් අතරින්
රහසේ ඇවිදින් වැළද ගත්තා

සුළගේ නැළවෙන තුරු ලතා මත
ලසෝ හද බැති සුසුම් රන්දා
නිදා නොනිදන නෙතින් අවදිව
සරා සද පුර දිනක් මැව්වා

සිසිල සියොළඟ වෙලී දැවටී
කොපුල් විලිබර සෙයක් දැනුණා
ගගේ ගං දිය රළැති අතරේ
සිනාසෙන නුඹේ මූණ පෙනුණා

ලොවක මැද ලොව දහක් අතරේ
පුරුදු සුපුරුදු සෙයක් සිතුණා
නොපෙනි නොදැනී කොහේ දිව්වත්
අහස හැම තැන ඉහළ තිබුණා


නෙල්ලි



තිත්ත බව දැන දැනම
නෙල්ලි කුමට කම්ද
පැණි රසක් තිබු බව
මතකයි අම්මා විටෙකදි කීව
නේක රස ඇති අසා ඇති වුව
කොහිද ඇඹුල් වත්
නොදැනුන මිසක
දැන දැනම තිත්ත වග
පැණි රසයි කියයි නුඹ
ඉදින් තිත්තම නෙල්ලී
විටෙක නෙක රස වුව
තිත්තටත් අම්මා මතකයි
පෙම් කළා කිවා දිනෙක
දැන දැනම තිත්ත වග
අම්මේ මට තිත්තම
පැණි රස කුමට
නුඹ තරම්ම කොහොම
පෙම් කරමි මම
මට නෙල්ලි කුමකටද?



Monday, July 16, 2018

ඒත් ඒ හිස්තැන් ය

හිස් මහ හුඟක් ඇති විටෙක වුව
එකම එක හිස් හිස්තැනක්
තියෙන්නට හැක
පිරුණ බව පෙනී නොපිරුණ

ඒ ඒත් හිස් හිස්කමක් විය හැකි තැනෙක ඇස්බැදුම් පුරාවටම
පෙළගසනු ඇත ඒ සිත ය
ඒත් ඒ හිස් කමක් ය

කඩතුරා හැර හිස් අතර හිස්ම
හිස්තැනක් ව නොනවතින තුරු විටෙක
හිස්තැනක හිදැස'
ඇහිපිල්ලමක් පමණක් ය දුර ය
ඒත් ඒ හැම හිස්තැනකම
එකින් එක වෙනස් ය

හිස්තැන් ය

ඒක ලස්සන හීනයක්


එතැන තියෙන්නේ ජීවීතේම නෙමෙයි
ඒත් ඒ ජීවීතේම උණ මතකයක්
ආදරේ කියන්නේ හැගීමක්ම නෙමෙයි
ඒත් ඒ විතරමයි හිස්තැනක්
හමුවීම් කියන්නේ මවාපෑමක් නෙමෙයි
ඒත් ඒ හදවත් කතාකිරීමක්
දෛවය කියන්නේ පැවැත්මක් නෙමෙයි
ඒත් ඒ හැම විශ්වාසයක්
සොබාදම කියන්නේ වචනයක් නෙමෙයි
ඒත් ඒ පුදුමයි අහම්බයක්
වෙන්වීමක් කියන්නේ නැවතුමක් 
නෙමෙයිඒත් ඒ නැවතුමක් නැති විරාමයක්
මම කියන්නේ එකම ඒක කතාවක් නෙමෙයි
ඒත් ඒ “ඒක ලස්සන හීනයක්”



සෙනෙහස් බැදුණූ ජීවීතයයි

සුදු මල් සිනා විසිරුණු මුව දසන් පෙළ
සුරතල් කතා තෙපළන් නිති මිටින් හළ
නිකලැල් සිතුම් හද පිරෙනා ගිමන් හල
සෙනෙහස් බැදුණූ ජීවීතයයි පුතු දෙපළ

විටෙකදි රවන විටෙකදි විත් සිනාසෙන
ඉදහිට නොවේ සැමදා සුපුරුදු දග කරන
දොඩමළු බසින් දොම්නස් සිත් මග හරින
විස්මය කිම්ද අරුමැසි නුඹ මුව රැදුන

ලෝකය අදුර මොහොතක වුව එළිය දෙන
හිරු සදු වෙලා සැම සිතකම ලැගුම් ගෙන
කාලය ගෙවෙන සේ නොදැනෙන සෙනේ ගෙන
විකසිත වෙනා මල් කැකුළකි නුඹ දෙදෙන

කිචි බිචි කතා ගෙනහැර සියොතුන් වාගේ
සරදම් සිනා එක්කොට දගකම් හපනුන් වාගේ
පාඩම් අකුරු කෙලි සෙල්ලම් කරනා වේලේ
එකතුව දුවමි විගසින් මම බාලේට මාගේ

ගිමනේ නිවී සොයනා හැම හැන්දෑවේ
ඈතින් ඇසේ පිංචි ය විමසන රාවේ
ජනනී නොලද මුත් හද ස්නේහය වෑහේ
දූ පුතු නමින් මේ ගී ආසිරි පිදුනාවේ....


ඈ ලෝකය දෙස නොබලා

සිත් තුල මෙත් මල් පිබිදේවා...!
ලස්සන සිරියයි වෙසගේ
දුටු නෙතගින් මන පිනවයි
දිලි දිලෙයි නෙක පාටින්
ආසිරි පවනයි මේ සැලෙනා 
සද එළියෙන් නැහැවී
ඒ තරමට ඒ වරුණාවන් මවලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
පාට පාට ගැන හරි හැඩ කරලා

රෑ කළ අදුරේ සිසිලස ගත
සිප ගන්නා
වෙනසක් නම් නෑ දැණුනේ
එක වාගෙයි හැමටම
හද එළියයි සා පැටවුන් රුව මවලා
තුරුවැල් නැළවෙන වාගෙයී
ගී පද බැදි අමුණාලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
ආකාසේ රූ සිතුවම් හද බැදලා

යන එන කවුරුත් ආවත් නාවත්
වෙනසක් නෑ එක ලෙස සලකා
රන්වැලි සිරිමා බෝ සමිදුන් වැදළා

ගයන්න දන්නේ කොහොමද අම්මේ
මේ හැටි ලස්සන පිරියම් කරලා


ලෝකෙම දකිනා මට නම් නෑ
ඒ වගේ ලස්සන වදනක්
කියන්න කව් ගී අමුණාලා

කොහොමද අම්මේ එහෙම කියන්නේ
ඈ ලෝකය දෙස නොබලා

කරුණා මෙත් සුව දැනෙනා හදකින්
ඈ ලෝකයේ රුව දැකලා
නෙතගින් නොදකින අපි දකිනා හැම
දුටුවන් සේ මිහිරැති පද බැදලා
නොපෙනුණ රන්වන් සද එළියේ
සිසිලස ලැබ වෙසගේ සිරි මවලා
ජීවත් වෙන්නයි පුතුනේ
ගයන්නේ තොරණේ ලස්සන කවි ගොතලා