Saturday, August 19, 2017

දම් පාටින් ලා සද .....


රාත්‍රිය කොයිතරම් නම් රහස් සගවන් ඇත්ද ලෝකයට නොපෙනෙන්න. සද එලිය තරු කැකුළු විතරක්ම දන්න අනන්තවත් දේවල් ඇති ඒත් හිරු එළිය මුකුත්ම  නොදන්න. ප්‍රේමවන්තයින්ට රාත්‍රිය   සොදුරුතම සොබාදහම් ආශිර්වාදයක්. එය සම්මතයේ වුවද අසම්මතයේ වුවද ප්‍රේමවන්තයින්ට රාත්‍රිය ලස්සන නවාතැන්පොළක්. ඒත් රාත්‍රිය නික්මීම සමග ඔවුන්ටත් වෙන්වන්න සිදුවීම සමාජ සම්මතයයි.

සද එළිය හාත්පස පැතිරුණු කළුවර ආකාසේ දම් පැහැ වෙලා ආකාසයෙන් සද නික්මෙන්න ළගයි. සාමාන්‍යයෙන් හිරු බැස යද්දී පෙම්වතුන් වෙන්ව යන්නේ ඒත් ඔවුන් වෙන් වෙන්නේ සදු බැහැලා යද්දී. ඔවුනුත් ප්‍රේමවන්තයෝ නමුත් සම්මතයට එහා ගියපු සමාජ අසම්මතය තුළ ඔවුන් රාත්‍රියට ආදරය කරනවා, පමාවෙලා හිරු නැගෙන්න. සද ආකාසයෙන් බැහැලා යන්න තව මොහොතයි තියෙන්නේ අළුයම හිරු උදාවෙන්න ළගයි. හිරු උදාවෙන්න ප්‍රථම සද දම් පාටට හෙමින් බැසයන පාන්දර ආකාසය  රන්වන් පාටයි. අකමැත්තෙන් වුණත් නික්මෙන්න සිදුවන වේදනාබර මොහොතක කතාකරන්නේ කොහොමද? නුඹෙන් සමුගන්නා මොහොතේ කතා කරන්න වචන තෝරන්න නොහැකිව නිහඩව සිටිමි. අපි අප සමීපයෙන් නික්මි යා යුතුයි.

දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....

ආකාසයෙන්  බැස යන්න සැරසෙන සද සේම නුඹේ මුහුණද දම් පැහැතියි.
වෙන්වී යා යුතු වුවත් වෙන්වන මොහොතක් නොසිතෙන මේ  මොහොතේ නුඹේ මුහුණට ළංව හිදිමද  සතුටක්. ඇත්තෙන්ම සමුදිය යුතු වුවද එය සිතට නොදැනෙයි. ආදරයෙන් වෙලී වුන් ලොවෙන් නික්ම යාම වේදනාවක්, ඒ හැගීම තුළ මං නුඹට තවත් ළංවී හිදිමි.
දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....

හිත් තුළ ආදරේ පුරෝගෙන ඒත් සමාජ අහිමානයට නතුව සැගවුණ ආදර කතා බොහොමයක් ඇති අපි අතරත් සමාජය තුළම.සිතට දැනෙන හුදකලාව මකාගන්න නුඹේ සෙවණැලි ජීවිතේ පුරාවටම ඇන්දත් ඒ සියල්ල මැකි යන බව දනිමි. ඒත් ඇය දැන දැනම බිත්ති පුරාවටම ඔහුගේ සෙවණැලි අදියි. ඔහු ආයේමත් හමුවන්නත් පුළුවන නොවන්නත් පුළුවන  එහෙත් ආයෙමත් ඔහු ඇය සොයා එනතුරු ඔහුගේ මතකයන් ඇගේ මුළු ජීවිතය තුළම ඈ සිත්තම් කරගෙන ඇත.සමාජය නැමැති කළුවර ලෝකය තුළ  ඇයට ඔහුගේ සෙවණැල්ල පවා උරුම නැත. කළුවර සමාජය තුල ඔවුන්ගේ ප්‍රේමණීය සෙවණැලි මකාදැමිය යුතුයි. මන්ද ඔවුන්ගේ බැදීම සමාජ සම්මතය පිළිනොගන්නක් විය හැකිය.

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....

මොහොතකින් ගෙවී යන්න ආසන්න මේ රාත්‍රිය තව දිගු වුණානම් ඔහුට ඇය ළග තව මොහොතක් නවතින්න තිබුණා. අහසින් දම් පැහැයෙන් බැහැලා යන්න හදන්නේ ලා සද එය සරා සදක් හෝ මෝරපු සදක් නොවෙයි.අසම්මතයේ පෙම්වතුන් වුවත් ඔවුන්ගේ ආදරය තවමත් අළුත් ලා සදක් මෙන්. ඒත් ඔවුන් එකිනෙකාට ඔවුන් අයිති නෑ. රාත්‍රිය තව දිගු වී ලාසද නොමැකී තියේනම් තව මොහොතක් ඇය සුවයේ හිදින්න ඔහුට හැකියි.නමුදු එයද තාවකාලික මොහොතකි තාවකාලික නැවතීමකි.නෙළුම් පතක දිය රදන්නේ නැත. එමෙන්ම ඔහුට ඈ ළග සදහට නැවතිය නොහැකිය. පමාවෙලා හිරු නැගෙන තුරු ඔහු ඇය ළගින් ඉන්න රාත්‍රිය දිගු වෙන්නැයි අයදියි ඒත් ඒ නෙළුම් පතක රැදි දිය බිදුවක් සේමයි. එතැන ස්ථීර බැදිමක් නොමැත.

රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....

ඇත්තෙන්ම රාත්‍රිය විතරක් දන්න සමාජය විසින් අසම්මත යැයි නම් කළ රාමුවට නතුව ප්‍රේමවන්ත හිත් කීයක් නම් මේ රාත්‍රිය තව දිගු වී සද හිමින් බැස ගොස් පමාවෙලා හිරු නැගෙන්නැයි අයදිනවා ඇතද හිරු එළිය නොදන්නවා වුණාට.

දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....

දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....

දම් පාටින්....

රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....

දම් පාටින් ලා සද....

ගායනය : ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල
සංගීතය : ගුණසේන කපුගේ

No comments: