Sunday, August 20, 2017

ඒ අහම්බයක් ඇත්තටම !


ඇස් දකින්න වැඩිපුරම ආස මොනවද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත්  අදත් මගේ හිත ඉස්සෙල්ලාම දෙන පිලිතුරක් "ඔයාව". මට මුළු ලෝකෙම අමතක වෙන ඔයාගේ හිනාවෙන මුහුණ දකින්න ආසයි මං මොහොතකට. ඇත්තටම මොහොතකට නෙමෙයි හැමදාටම. ඒත් ජීවිතේ  අපිට උරුම දේවල් එක්ක ගනුදෙනු කරමින් හුස්ම ගන්න අපි ගොඩක් දෙනාටත් ඇති එහෙම කෙනෙක්. නොහිතපු මොහොතක අහම්බෙන් අපිට අපි මුණගැසුණොත්. ඒ මගේ ජීවිතේ හීනයක් සෑබෑ වූ මොහොත.

අපි අපිව මුණගැසෙන අවසාන දිනය එදා බව දැනුණි නම් මට මොහොතකටවත්,ඇත්තමයි අනේ මට තව ටිකක් නුඹ ළගින් ඉන්න තිව්ණා. හැමදාම මට හිතුණා එහෙම. ඒත් මේ පුංචි රටේ පුංචිම පුංචි දුරක අපි අපිව නොදන්නා සේ උන්නාට මට නුඹව මුණගැසුණා මගේ ඇස් ඉදිරියෙම.මට දැනුණේ ඇත්තටම  මේ  සොබාදහම හරිම පුංචියි කියලා. වචනයට ගලපන්න නොතේරෙන තරම් ආශාවෙන් මා පෙරුම් පිරුවෙමි,බලාසිටියෙමි ආයෙමත් වතාවක් නුඹ දකින්නට.
මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී.
ඒ මගේ සිත්හි හැමදාම තිව්න ප්‍රාර්ථනය.
ජීවිතේ තිබුණු සොදුරුතම සිහිනය සිහිනයක් පමණක්ම වී හදවතේ මතකයන් පමණක් ශේෂ වූ වර්තමානයක මම යථාර්ථය වටහා ගනිමින් සිටිමි. සොබාදහම විසින් අපිට සබදතා නිර්මාණය කරන්නා සේම ඒකී සොබාදහම තුළම ඒ සබදතා දුරස් වන බව දනිමි. එය මා සිතු සේ අපට පමණක්ම උරුම වූවක් නොවේය. ඉතිං ජීවිතය නුඹේ හමුවීම සමග තිළිණ කල ජයග්‍රහණය මෙන්ම නුඹේ නික්මීම තුලින් පැරදුමද මට පසක් කරවීය. නුඹේ ආදරය මගේ මුළු ජීවිතය වුවද සාපෙක්ශව බැලු කල බොහො දෙනෙකුට උරුම පැරදුම මමද වටහාගත යුතුය.මං නුඹෙන් වෙන්ව ගොස් වන්නට පුළුවන් වුවත් නුඹද මගෙන් වෙන්ව යා යුතුයි මම අද දනිම්.සොබාදහම විසින් එය මට පසක් කරවමින් සිටියි.ඉතිං නුඹ ගියා මෙන්ම මමද ඒ ආදරණීය හීනයෙන් ඇහැරී සමුගත යුතුය.
ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ //
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
ඒත් මේ පුංචී රටේ අද වගෙම ආයෙමත් අපි හමුවීම නොවිමට නොහැකිය. එකම එක මොහොතක් නුඹ දකින්නට මා පැතු ප්‍රාර්ථනාව ඇස් ඉදිරියේදීම සෑබෑ වූ මොහොතක මට සිතුවිලි ගැලපිය නොහැක. නුඹට මා මුණගැසුණිදැයි මා නොදනිමි.එහෙත් මට නුඹ මුණගැසුණි.  ඉතිං එදා වගේම අදත් නුඹ මුහුණෙ රැදී සොදුරුතම සිනහවත් සංවේදී කමත් හදවතින් දරාගෙන මම නුඹටත් හොරෙන් නුඹ දිහාම බලා උන්නෙමි.  අද මට නුඹ මෙන්ම ආයෙමත් දවසක මේ පුංචි රටේ ජීවන ගමනක යෙදෙන අපිට අපි මුණගැසෙන්නට පුළුවන. ආයේමත් ආයෙමත් මුණගැසෙන්නට පුළුවන. ඒත් ඒ හැමදාම මං අද වගෙම ගොළු විය යුතුද? අපිට අපි අහම්බෙන් මුණගැසුණ මොහොතක ඉස්සර වගෙම සතුටින් හිනහෙන්න මට පුළුවනිද?
ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ  //
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ
වචනාර්ථය පමණක්ම පද අතර සංකලනය කලද සිදුවීම සමග සිත වෙලාගත් එකම ගීතයේ පද ස්මරණය වීම සටහන ලියන්නට පෙළඹුවේය. සොබාදහම විසින් නිර්මාණය කළ මොහොතක කාලය විසින් මට නුඹ මවා පෙන්නුවා දැයි නොදන්නා මුත් ආයෙමත් දවසක් අපිට අපි මුණගැසෙණ නිමේෂයක් වේනම්  ප්‍රාර්ථනයක් ආයෙමත් මං හදවතින් පතමි.

මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී...
ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ //
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ  //
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ

මේ පුංචි රටේ......

ගායනය: ටී.එම්.ජයරත්න
පද: කුලරත්න ආරියවංශ
සංගීතය:එච්.එම්.ජයවර්ධන

No comments: