Friday, August 18, 2017

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


සොබාදහම පුදුමාකාර වෙනස්කම් කරයි.ඇතැම් විට විස්මය ජනිත කරවන සුළු විවිධ  වූ සොබාදම් මායාවන් තුල මිනිසා තම ජීවිත අත්දැකීම් මතකයන් යලි යලිත් ස්මරණය කරමින් කාලය ගත කරයි.හදවත තුලින් ප්‍රතිරාව නංවන හුදකලා බවේ සාංකාව  පද එකින් එක ගලපමින්  තවමත්  මම ලියන කවි තුල ගැලපෙමින් තිබේ.ඉස්සරම වගෙයි තවමත් වෙනසක් නැහැ,වෙනද වගේම වැහි බිඳු ගැබ්බර වූ අහසෙන් නික්ම මහපොළවට ඇද හැලෙයි.වසන්තය ගෙවී ගිම්හානය උදා වුවත්  ආයෙමත්  වසන්තය උදාවන සොබාදම් නියමය අනුවම ගස් වල මල් විකසිත වී ඇත. කාලයට සාපේක්ෂව ඔබ වෙනස් උනත් අපි වටා තිබු සියල්ලම එදා වගේම වෙනසක් නොමැත.ඒත් මට විතරක්ම දැනෙන තනිකම සොබාදහමට දැනී   නැති  බව නම් සැබෑවක් .අද මා  සමීපයෙ නුඹ නොමැතිව දැනෙන හුදකලාවෙන්  පාළුවවෙන් සිත නුඹ පිළිබඳවම විමසයි. ඒ නිසවෙන්ම දැයි නොදන්නා නමුත් අපිට සුපුරුදු  ගී පද සවනත වැකෙනා සෑම නිමේෂයකම මම මසිතෙහි අපේ මතකයන් සොයමින් වෙහෙසෙමි.දුර්වර්ණව ව ගිය පැහැය හැරෙන්නට තවමත් අපි වාඩි වී දොඩමලු වූ අසුන, මල් පිපිණු ගස අසල අප එනතුරු බලා සිටියි.ඒත් අප අවා නැතා යැයි වෙනසක් නොමැතිවම මල් පිපි තිබෙනු දැක මගේ දෙනුවන් කඳුළු සොයද්දී අපේ අතීතය මා ඉදිරිපස  සිත්තමක් සේ මැවී පෙනෙයි.

වේදනාවෙන් දුකෙන් පිරුන හිතේ දුක වාවගන්න හැටි  කියාදෙන්න නුඹ තරම් සමත් කිසිවෙක් තවමත් මට මුණගැසී නොමැත.අතොරක් නොමැතිව නෙතු කඳුළු සලද්දී සෙත් කවියක් ව සෙනෙහෙබරව කියදුන්නු ජීවිතේ පාඩම් තුලින් ඉස්සර වගේම හිත හදා ගන්න පුළුවන් වුනානම්,  මගේ සවන් මේ තරම්ම නුඹ, නුඹේ හඬ අසන්නට බලාපොරොත්තුවෙන් නො ඉන්නත් තිබුණි.ඉස්සර දුක සතුට හිමිවෙද්දී මා නිසාද නුඹ නිසාදැයි සිතු වගක්වත් මතකයේ නැති උනත් නුඹ සමීපයේදී දැනුන දුකත් මිහිරි වූ බව යලිත් සිහිගැන්වෙන සොඳුරු මතකයක් පමණක්ම වී ඇති බව සැබෑවක්.ගෙවිල ගියපු ඒ මතකයන් හැම දේම වෙනසක් නෑ අතීතයට නම්.එත් වර්තමානය තුල මා තවමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් සමගයි.ඒ නිසාම වෙන්න ඇති අහිමි බව දන දැනත් මම තවමත් මගෙ නොවන මගේම විතරක්ම වුන අපේ කවිය ලියමින් ඉන්නේ.

ගහකොළ විතරක්ම නෙමෙයි මේ අහස වගේ ආදරය අරන් නුඹ පුර සඳක් වී මගේ ලොවට පායාවී යැයි මා මැවූ සිහින සියල්ලම බොඳ කරමින් නුඹ අවපසක සඳ වූ බව මටත් තවම පුදුමයක්.අද ගෙවී ගොස් නිසැකවම අතීතය වන බව දැන දැනත් අනාගතයට පියනගන්නට කාලය මගෙන් නොවිමසාම මට  ආරාධනා කරනා නමුදු ජීවීතය ජීවත් කරවූ බලපොරෝතුතුව වූ නුඹ නොමැතිවම අනාගතයේ දුෂ්කර වූ අවස්ථාවන්ට මුහුණ දෙමින් ජීවිතය ගෙවන්නේ කෙසේදැයි මා මගෙන්ම විමසමි. ඒත් සැරෙන් සැරේට වාද කරමින් සිත් විමසනා නමුත් තවමත් පිළිතුරක්  නොලද  පැනයක් මා සතුව ඇත.නුඹ නැතිව තවමත්   තවමත් මා ලියන මේ කවිය සම්පූර්ණ වන  වන දවසක් ඇත්තෙන්ම එළඹෙවිද?

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

අනාගත වාළුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා
පුරපසක නොවී නුඹ අවපසක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

ගායනය : ගායන ශිල්පී  සෝමතිලක ජයමහ

No comments: