Friday, December 15, 2017

සබදේ උඹ මට දෙන්නේ හිනාවක අරුමේ

වියලි කොල අතු ඉපල් සුළගේ වැනෙනා දාක
මහා කළු මේඝ විත් ලොවම කළුවර රෑක
පෙළින් පෙළ ලිහිණියන් වැහි ගෙනා දාක
මට උබව හම්බුණේ හංදියෙදි මහ රෑක

සීතලට ගුලි වෙලා පිනි වැටුණ උඹෙ මූණ
තුරුළු කර මට හිතුණා සිප ගන්න මහ රෑම
විටින් විට ගැහි ගැහි හැංගෙන්න බැලු මාන
බලා ඉඳ බැරිව මං පෑවේ වැස්සෙමයි දෝත

ගෙදර මට කියා තිබු මගේ මුළු ලෝකයම
උඹ ඇවිත් අරක් ගත්තා අහන්නෙත් නැතිවම
ඉද හිටක පා පිස්සෙ ලණු කැරළි ඔක්කොම
ඉර ඉරා උඹ නැටුවා පොඩි කාලේ තිස්සෙම

ගේ පුරා අතු ගාපු මවිල් උඹෙ හැම තැනම
කෑ ගහලා දොස් තියන අම්මා විටකදි සැරම
දැවටිලා පය ගාව ආදරෙන් හැමදාට එක් වරම
උඹ ඇවිත් හැංගුණේ මං ගාව ලෙංගතු ලෙසම

මග දිගට හැම උදයේ පිටුපසින් හොර බැල්මේ
උඹ එන්නේ මා එක්ක එලවද්දී දිව හැල්මේ
දුව ඇවිත් වැළඳගෙන හවසටත් එක පිම්මේ
සබදේ උඹ මට දෙන්නේ හිනාවක අරුමේ



No comments: