Friday, July 6, 2018

කතා කරන සිතුවිලි

කාලය ගෙවෙනවා හරිම ඉක්මනට. මේ ගෙවෙන දවස මට එකම එක දවසක් විතරයි. ඒත් මගේ වටා මුළු ලෝකයටම ඒ ගෙවෙන්නේ මහා ලොකු කාලයක්. ජීවීතේ මොහොතින් මොහොත වෙනස් වෙන බව දැන දැනම ජීවත් වෙන්න තියෙන පුංචිම කාලේ මට මාව ජීවත් වෙන්නේ නෑ කියලා දැනෙන සරුවපිත්තල ලෝකයක මට කොහොමවත් බෑ ජීවත් වෙන්න. ලෝකය ලස්සන ලස්සන පාට ගැන මගේ ඇස් වලට පේන්න ලස්සනට පෙන්නුවට හැමදාම වගේ මම තාමත් ආසම සුදුපාටට. තට්ටුවෙන් තට්ටුවට රූසිරි පිරුණ මාලිගා ඇස් ඉදිරියෙම මවා පෑවට මම ආස අපිට නිදහස දැනෙන පුංචිම ලෝකයකට. ඉස්සරහම ඉස්සරහා ඉදගෙන අව් කණ්ණාඩියෙන් එළිය බලාගෙන වේගයෙන් ධාවනය වෙන ජීවිතයකට මාව ගොඩකරන්න ලෝකයම වෙහෙසුණාට මට ඕනී හුළග ගහකොළ සොබාදහම විදගෙන කාලය ගත වෙනවා දැනෙන්නෙම නැතිව හිමින් හිමින් කියව කියව මහන්සි දැනෙනකම්ම ඇවිදින්න. මාව ඉස්සරහයින්ම තියලා මගේ මුළු ලෝකයම මහා ලොකු හීන දකින බව මං දන්නවා වුණත් ආලෝකය දෙන්න හිරු පායයිද දන්නේ නැති හෙට ගැන හීන මවන්නේ නැතිව මට ඕනී එළඹුණ අද දවසේ ඇත්තටම ජීවත් වෙන්න.
එකම ප්‍රශ්නයකට එකම පිළිතුර හැමදාම එකම විදිහට ගලපන්න පුළුවන් තරම් ජීවීතේ සරල වුණානම් කියලා හිතෙන තරමට එකම එක ප්‍රශ්නයකට පිළිතුර ද කල් ඉකුත් වෙමින් තිබෙන බව මට දන්නවා. මට තියෙන්නේ පුංචිම කාලයක්..මට මාව අහිමි වෙන්නට තියෙන ඉඩකඩ බොහොම වැඩියි.
එත් මං ගැනම හිතලා ආත්මාර්ථකාමී වෙන්න මට බෑ. මට හිතන්න තව මං නිසාවෙන් ජීවත් වෙන ජීවීත තියෙනවා. මගේ දිහා බලාගෙන පිපෙන මල් තියෙනවා. නිකම්ම නිකම් මුකුලිත වුණොත් මම ඒ හැමදේම කදුළක් වෙනවා. ඉතිං මම ජීවත් විය යුතුයි ඔවුන් වෙනුවෙන්. ඒ වුණත් මං දන්නවා ඇස් කතාකරන්න හදද්දීම නොදැක්කා වගේ ඈත බලාගෙන ඉන්නවා. ඒත් මම බලාගෙන ඉන්නවා ඈත බලාගෙන ඉන්න ඔයාගේ ඇස් දිහා. වචන එකින් එක තෝරලා කිසිම ගැළපුමක් නෑ කියලා දැන දැනමත් වචන හොයාගෙන කතා කරනවා ඒත් එක මොහොතකින් ආයෙමත් අපි අතරමැද නවතිනවා. ඒ දැන දැනත් මම කල්පනා කර කර වචන හොයනවා.
ජීවීතේ කියන්නේ එක නැවතුමක් නම් හෙවණ හොයන හැමෝමට හෙවණ දෙන්න මටත් පුළුවන් කියන්න මට තිබුණා. ඒත් මට ජීවීතේ ඊට වඩා දෙයක් දැනෙනවා ඒ අපි ළග ඉද්දී කාලය ගෙවෙද්දී. ඒකයි මම ජීවීතේ දැනෙන්න ඕනී කියන්නේ. ඒ දැනෙන ජීවීතේ තියෙන්නේ කවුරුත්ම කියන කවුරුත්ම මවා පෙන්වන යසස ඉසුර ළග නෙමෙයි ආයාසක් නැතිවම දැනෙන පැහැදිලි කරන්න නොතේරෙන නොදැනීමක් ළග.
ඒත් මට තියෙන්නේ හරිම පුංචි කාලයක්. අද නික්මෙද්දී හිතෙන්නෙම හෙට අපි වෙනුවෙන් ජීවත් වෙන්න මට නොලැබේවී කියලා. ජීවත් වෙන්න ජීවිතයක් නැති ලෝකේක මට ජීවීතේ පටන් ගන්න වෙයි කියලා. කාලයත් එක්ක මට අරගල කරන්න බෑ.
ඒ වුණාට මම ආස ඔයත් එක්ක මේ ජීවීතේ ඉස්සරහට යන්න. හැංගිමුත්තන් කරන ඔය හැගීම් හිතට කතා කරනවා කියලා දැන දැනත් නොදැනීම ඉද්දී ලෝකය දෙන තැනක මට ජීවත් වෙන්න හුරුවෙන්න වෙනවා මට මාවම අමතක කරන්නම වෙනවා. මට අපි එක්ක නවතින්න බැරි වෙනවා. ජීවීතේ හොයාගෙන ගිහින් මම අතරමැද අතරමං වෙලා තියෙනවා.ආයෙමත් අතරමං වෙන්න මං බයයි. 
ඒ උණාට ඇත්තටම මම ආසයි ඔයත් එක්ක මේ ජීවීතේ ඉදිරියට යන්න. ඔයාවෙනුවෙන් ජිවත් වෙන්න නෙමෙයි අපි එක්ක සතුටින් ජීවත් වෙන්න. අකුරු,වචන දවසින් දවස වෙනස් කර කර මං පුළුවන් විදිහට පැහැදිලි කළා වෙන මොනවත් ම නිසා නෙමෙයි මමඔයා නෙමෙයි අපි ළග අපි ජීවත් වෙන බව දැනෙන නිසා. ඒත් මට වෙලාව අඩුයි...බලාපොරොත්තුවක ජීවත් වෙන්න...

අද මම විතරක් වුණාට හෙට මා වෙනුවෙන්ම ලෝකයා විසින් නිර්මාණය කළ ලොවක හුස්ම ගන්නට මට නොහැකියි. අපි අපිම නිර්මාණය කළ අපේම ලෝකයක ජීවත් වෙන්න මම ආසයි...















No comments: