Friday, August 21, 2020

 


ඉඳලා හිටලා ලියන කවියක
එකම පදයක් බැරිවුණා ලියන්න
ස්නේහේ තැවරුණ පුංචි කවියක්
නුඹට ආදරේ බව කියන්න

රැවුම් ගෙරවුම් නැතිව අඩුවක්
ජීවිතේ හැම තැනම දැනුණි සවියක්
අම්මා වාගෙම ආදරේ නොපෙනුවත්
නුඹේ හුස්මේ හිටියෙ මං හැමදාමත්

විරිය දුන්නේ නොලබාම පැසසුම්
වැටුණු මොහොතක දී නැගිටින්න
ලොවක් සමගින් වුවත් අරගල
කළා සැමදා මාව රැකගන්න

නපුරු පාටින් මුහුණ ඔරොවන්
නොකියා දඟකම් දරා උන්නා
හිමි හෙමින් මං ගමන යනකොට
සෙවනැල්ල වී සෙනේ දුන්නා

පුංචි සංධියේ වගේ දැටටී උකුළේ
නැළවෙන පුංචි දෝණී ලොකු උණාට
හෙටත් එහෙමයි නොවී වෙනසක්
චූටී දෝණීයි මං ඔයාට




Wednesday, August 19, 2020


බිමට වැටිලා පරවෙලා යන
මලක් වූවත් නොකියා උන්නට
නොකී කතාවක් හැමට වාගේම
මලට වූවත් තිබෙන්නට හැක

උස්ම මුදුණක පිපි සුවඳට
පාට වත්සුණු තවරා ගත්තම
සිනා පුරලා වතින් සුන්දර
කවුරැ එක්කත් බෙදා ගත්තට
ජිවිතේ බර දැනුණ මොහොතක
පොළොව සිඹිනට සිතෙනවත් ඇත

දේසේ වාසේ ඇසුරු කළ තැන්
මලින් මලකට වෙනස් වූ කළ
දුරින් බලලා සුවඳ පාටද
කිමැයි කොහොමද කියන්නට හැක

සුළං කෝඩේට බිමට නොවැටී
ඉන්නේ කොහොමද දනී නම්
ඒ... මලක් පමණය
සුවඳ දෙන මල්
උසින් පිපිලා පාට පාටින්
මලේ රුව ගුණ කියන්නට නම්
කෙනෙක් වෙත්නම් අහසේ පමණය  

Monday, July 20, 2020


 



ඝන කළුවරට ගැබ්බරින්
මුළු අහස වසාගෙන
කෑ ගසා අතු රිකිළි
සුළඟ දැඩි බැවින
ඇද හැලෙන වැහි බිංදු
මහා ගස් පෙරලගෙන
අඬ අඬා දුක කියා
මහපොළව බදාගෙන
හිමි හිමින් ගලා යයි
මහ සයුර සොයාගෙන 

Saturday, July 11, 2020

හීන...


හීනයක් හිත පුරාවට පිරුණ බලාපොරොත්තුවක්. ඒත් ඒ හීන සමහර වෙලාවට ඇත්තටම හීන. පුංචිම දවස්වල කියවන්න ආසම පොතක් ගැන හීනයක් මට තිබුණා. ඇත්තටම ඒ කහපාට කවරය තියෙන ඉස්සරහ රූප ඇඳලා තියෙන සුරංගනා කතා පොතක් ගැන. හරියටම පංතිය මතක නැති වුණත් ආපස්සට ගියාම 4 වසරේ නවතින්න පුළුවන් තරමටම මට ඒ හීනය සුවිශේෂයි. පුංචි කාලේ ඉඳන් හීන දැකලා මගේ ඇස් දෙක ළඟ ඒ හීනය හැබෑ කරන් "ලස්සන වසිලිස්සා" ව මගේ පොත් රාක්කයට ගේන්න මට පුළුවන් වුණා. ඒත් ඒ මට අවුරුදු 25දී. මං දන්නේ නෑ මොකක්දෝ පුංචි හිස්තැනක් දැණුණා අදත් දැනෙනවා. මට හිතෙන්නේ ඒ හීනයක් හැබෑ විමේ සතුට නෙමෙයි. ඇත්තටම පුංචි කාලේ ලස්සන වසිලිස්සාට ආදරේ කරපු මං අද වෙනස් වෙලා නිසා. ජීවිතේ සමහර හීනත් ඒ වගෙමද මන්දා..


මිනිස්සු හීන වෙනුවෙන්ම ජීවත් වෙන ලෝකේ සමහර මිනිස්සු පුංචි පුංචි හීන දකිනවා ජීවත් වෙන්න පුළුවන් ද කියලා හොයාගන්න. ඒත් අවස්ථාව කාලය හැමදේම සමග වෙනස් වුණ ලොකු පුංචි හැම හීනයකම තියෙන්නේ බලාපොරොත්තුවක්. ජීවත් වීම වෙනුවෙන් අසීමිතව පාරේ වැඩ කරන මිනිස්සුත්, උස් පහත් බේදයක් නැතිවත් AC කාමර වල වැඩ කරන මිනිස්සුත් මහන්සි වෙලාවට සුළඟ බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැනෙන මහන්සියෙන් නිවෙන්න.

හීනයක් කියන්නේ බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. ඒත් ඊටත් වඩා මහන්සිය නිවන්න උත්සාහ කිරීමක්. ඒක පුද්ගලයා, සමාජය,කාලය, අවස්ථාව, හිත,ගැහැනු, පිරිමි අනුව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් වුණාට ජීවත් වෙන්න හේතු හොයන්න අපි හැමෝම මහන්සි වෙනවා...සමහර වෙලාවට හේතු මුණ ගැහෙනවා. ඒත් සමහර වෙලාවට හීන වෙනුවෙන් බලාපොරොත්තු විතරක්ම ගොඩගැහෙනවා.

Tuesday, July 7, 2020

ඇය...

ජීවත් වීම යනු කුමක්දැයි පැසසීමට තරම් මා ජීවිතය තුල පරිණත නැත. නමුත් ජීවීතයේ සෑම මොහොතක්ම විඳින්නට මට කියාදුන්නේ ඇයයි. සතුට දැනෙද්දී ඒ සතුට පිරි සිතින් හිනාවෙන්න වගේම දුක දරාගෙන ජීවත් වෙන්නත් ඇය මට කියාදුන්නීය. මට ජීවිත් වීම අසීරු බව දැනුන හැම මොහොතකම ඇය මා හද සමීපයට පැමිණ මා ජීවත් කරවන්න කරුණු පෙන්වා දෙන්නීය. ඉදින් ඇය ගැන මා කිව යුතුමය. මා අතීතයට යා යුතුමය.....

"දුන් දේ සුවඳයි කෑ දේ ගඳයි" මට සතුටින් දෙන්න හුරු කළේ ඇයයි. එදා අකමැත්තෙන් දීමට පුරුදු වූ මා අද ඈ මෙන්ම නැතත් සතුටින් දීමට උත්සාහ කරමි. ඒත් ඇත්තෙන්ම මට තවමත් ඈ පසුකිරීමට නම් නොහැකි විය.


ගැහැනියක යනු ජීවීතයේ අභියෝග දරන්නියක් බව මට පසක් කළේද ඇයයි. ලෝකය විසින් අසීරු අවස්ථාවන් නිර්මාණය කළද හිතට එකඟව ඒ සියල්ලට මුහුණ දීමට ශක්තිය මා තුලින්ම සොයාගන්න මට කියාදුන්නේ ඇයයි. ඉස්සරම ඉස්සර මට මා ගැනම විශ්වාසයක් නොමැති කළ "මට පුළුවන්" කියා හීනයක් දකින්න මා පුහුණු කළේ ඇයයි. වැරැදි මිනිසුන් නැති බවත් සමාජය තුල කාලය අවස්ථාව අනුව මිනිසුන් ක්
රියා කරන්නේ ඔවුන්ටම ආවේණික ක්රමයකට වුවත් සංවේදී ගැහැනියට ඒ සියල්ලම දරාගෙන ඉදිරියට යන්න සිතට ශක්තිය තිබිය යුතු බව මට කියාදුන්නේද ඇයයි.

ඒ පමණක් නොව ගැහැනියකට තරම් අනුන් ගැන සිතන්නට කිසිවෙක්ට නොහැකි බව මට කියාදුන්නේ ඇයයි. විටෙක ගැටෙමින් විටෙක හඬමින් විටෙක සිතමින් ගැහැනිය ජීවිතය පුරාවටම ජීවත් වීමට වෙහෙසෙන බවත් ඒ සියල්ලෙහිදිම ඇය ඇයගේම සිතින් තෘප්තිමත් වීම තරම් සතුටක් ඇයට වෙන කිසිවකින් ලබා ගත නොහැකි බවත් මට පසක් කර දුන්නේද ඇයයි.

ජීවිතයේ සියළු දෑ හදවතින් දරාගෙන ඉවසන්න යැයි මට අත්දැකීමෙන් කියාදුන්නද ඉවසීම අමතක වන කල්හි සිත නිවීමට තිබූ මොහොතක් නැතිව යන බවත් ඈ කියාදුන් බව මට තාමත් මතකයි.

ඉදින් ඈ මට කියා දුන් අපමණ දෑ අතර මා දන්නේ මා තවමත් ඇරඹුමේ පමණක් බවයි. දිනෙන් දින මොහොතෙන් මොහොත ජීවිතය නැමැති ගමන හිමින් හිමින් ගමන් කරද්දී ඉදිරියටත් ඈ මා හදවතේ සිටියි.

එදා මෙන්ම අදත් ඇයට ස්තූති කිරීමට මට අවස්ථාවක් නොලැබුණිද ඈ යනු මගේ මවයි, මගේ පාසලේ මුල් ගුරුතුමියයි, මගේ උසස් පෙළ පංතියේ ගුරුතුමියයි, මගේ පළමු රැකියාවේ ප්රධාන නියමුවරියයි.

ඉදින් මියෙන තුරු ජීවිතේ හැමදාම (ඇය) ඔවුන් සිව් දෙනාම මට ජීවත් වීමට කියාදෙන බව විශ්වාසයි.
ඇය නම් වූ සියලෝටම ස්තූතියි.....!!!
❤️
2020.07.07

Thursday, July 2, 2020

පාට පාටට වර්ණ ගන්වා අදත්
ලස්සන මවා පෙන්නුවා
වගක් නැතුවත් නොකී කිසිවක්
ඔහේ අහගෙන මමත් උන්නා
රැහේ ඔක්කොම පුංචි පැටවුන්
වගේ නෑ මං කියන්නත් හිතුණා
ඒත් නොකීයම කිසිම කිසිවක්
පුරුදු විදිහට මං අහන් උන්නා...

පියාඹා යන ඉහළ අහසේ
කිරිල්ලියෝ ලොව බොහෝ ඉන්නවා
පොළෝ තලයේ ගැටෙන පය මත
ඒත් මං හෙමිහිට හුස්ම ගන්නවා
හීන හිනැහෙන හිතේ අස්සක
නොකීවත් මගෙ හිතේ තියෙනවා
හිමින් හෙමිහිට ගමන් කෙරුවත්
ජීවිතේ මං පුරුදු පාරෙන්ම යනවා

ඇත්ත වාගෙම බොරුත් අහගෙන
නොදැනෙනා සේ ඔහේ ඉන්නවා
කියා ගන්නට වචන නැතිමුත්
සිතින් නික්මෙන අරුම දැනෙනවා
සතුටු වෙන්නද දුකින් ඉන්නද
මාත් මං මගෙ හිතින් අහනවා
හදේ ගැඹුරට හැඟුම් පෙරළා
සතුටු හිනාවක් මං හොයාගන්නවා

 

Tuesday, May 19, 2020

❤️

කොහෝ උබ හැමදාම ගී සින්දු ගැයුවාට
වෙනදාට වාගේම අවුරුද්දේ ආවාට
කාටවත් දැනුණේ නෑ අවුරුද්ද ගෙව්නාට
උඹ තාම ගයන්නේ හැමදාම පුරුද්දට
ජීවිතේ ලස්සනට අපි හීන දැක්කාට
හීනයක් කියන්නේ මං ඇඳපු සිත්තමට
උඹ වාගේ මං වාගේ අපි සැවොම ලෝකයට
ජීවීතේ ගයන්නේ හැමදාම පුරුද්දට
හිත නිවන හිත පිරෙන හිත රැඳුන තාලයට
උඹ ගයන ගී සින්දු ලස්සනයි ලෝකයට
පද බැඳෙන සිත වැළඳ හද හැගුම් කවියකට
උඹ වගෙම ලියන්නෙමි හැමදාම පුරුද්දට
❤️

Sunday, April 19, 2020




අකාසේ පුරාවට එකම හද පෑව්වට
හද එළිය වුවත් එක වාගේ මයි අපට
අද හෙටද නෑ දවස් ජීවීතේ තව දුරට
මයෙ හදේ නුඹ ඉන්න හිනැහීලා නෙතට

හිමි හිමින් නැළවෙනා තුරු ගොමුද පෙළට
සුළගටත් පෙම් බදී දුර ගිහින් ආ කළට
තාළයට ලෙලදෙනා දළු කැකුළු මේ සොදට
කියන්නේ නුඹ ගැනයි ආදරෙන් මයෙ හිතට

සරන්නට නොහැකි මුත් ආකාසේ තරගයට
සිත් රිසින් මම සරමි නුඹ පේන මානයට
ආදරෙන් හද වැළද නුඹ සිඹින සිහිනයට
ජීවීතේ තව දුරයි ලොවම සුවපත් වන දිනට

හිමි හිමින් හැමදාම දවස් ගෙවෙනා සදට
මට වගෙම නොදන්නෙමි සිතේ දැයි නුඹට
ස්නේහයෙන් පිරී ගිය නුඹ සැණින් දකින්නට
ජීවීතේ මේ හැටිම නොදන්නෙමි රිසි කුමට

Saturday, March 14, 2020




ඉපල් වී වියළුණු මහපොළොව බදාගෙන
හිටිහැටියේ නොකියාම පොදින් පොද වැටෙන
පස් පිඩැලි තණ පත් නැවුම් වී සුවද දෙන
තුරු මුදුන් නැහැවිලා කාලෙකින් වස්සාන

දුෂ්කරව පණ ඇද්ද දිය බුබුළු උතුරාණ
මියදෙන්න දින ගැන්න මල් කැකුළු පුබුදාන
එකින් එක බිම හැළුණු පල වැලට පණගේන
හිටි හැටියේ මහ වැස්ස ලෝකයම නහවාන

නෑඹුල් ව සුවද දෙන මිහි තලේ අපූරුව
වැස්සක්ව පසසන්නේ ජීවිතේ මිහිරිය
හිරු රැසින් දැවී වියකී ගිය ඒ අතීතය
මතක වත් නෑ කොහේ වැහි බිදකි අරුමය




Tuesday, January 21, 2020

නුඹ

හිනා වෙන කල දෙනෝදාහක්
ලොවම හොයන්නේ හිනාවක් වුව
ඇතිව නැතිවන සිනාවන් ළග
මගේ මුවගේ හිනාවයි නුඹ
ජීවීතේ මහ හුගක් දේ නැත
නුඹ ව හැර මුළු ලොවම එක්කල
හීනයක් වී හිතේ දවසක
හැබෑවක් වූ මගෙ ලෝකයයි නුඹ
❤️

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...