හීනයක් හිත පුරාවට පිරුණ බලාපොරොත්තුවක්. ඒත් ඒ හීන සමහර වෙලාවට ඇත්තටම හීන. පුංචිම දවස්වල කියවන්න ආසම පොතක් ගැන හීනයක් මට තිබුණා. ඇත්තටම ඒ කහපාට කවරය තියෙන ඉස්සරහ රූප ඇඳලා තියෙන සුරංගනා කතා පොතක් ගැන. හරියටම පංතිය මතක නැති වුණත් ආපස්සට ගියාම 4 වසරේ නවතින්න පුළුවන් තරමටම මට ඒ හීනය සුවිශේෂයි. පුංචි කාලේ ඉඳන් හීන දැකලා මගේ ඇස් දෙක ළඟ ඒ හීනය හැබෑ කරන් "ලස්සන වසිලිස්සා" ව මගේ පොත් රාක්කයට ගේන්න මට පුළුවන් වුණා. ඒත් ඒ මට අවුරුදු 25දී. මං දන්නේ නෑ මොකක්දෝ පුංචි හිස්තැනක් දැණුණා අදත් දැනෙනවා. මට හිතෙන්නේ ඒ හීනයක් හැබෑ විමේ සතුට නෙමෙයි. ඇත්තටම පුංචි කාලේ ලස්සන වසිලිස්සාට ආදරේ කරපු මං අද වෙනස් වෙලා නිසා. ජීවිතේ සමහර හීනත් ඒ වගෙමද මන්දා..
මිනිස්සු හීන වෙනුවෙන්ම ජීවත් වෙන ලෝකේ සමහර මිනිස්සු පුංචි පුංචි හීන දකිනවා ජීවත් වෙන්න පුළුවන් ද කියලා හොයාගන්න. ඒත් අවස්ථාව කාලය හැමදේම සමග වෙනස් වුණ ලොකු පුංචි හැම හීනයකම තියෙන්නේ බලාපොරොත්තුවක්. ජීවත් වීම වෙනුවෙන් අසීමිතව පාරේ වැඩ කරන මිනිස්සුත්, උස් පහත් බේදයක් නැතිවත් AC කාමර වල වැඩ කරන මිනිස්සුත් මහන්සි වෙලාවට සුළඟ බලාපොරොත්තු වෙනවා. ඇත්තටම දැනෙන මහන්සියෙන් නිවෙන්න.
හීනයක් කියන්නේ බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. ඒත් ඊටත් වඩා මහන්සිය නිවන්න උත්සාහ කිරීමක්. ඒක පුද්ගලයා, සමාජය,කාලය, අවස්ථාව, හිත,ගැහැනු, පිරිමි අනුව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් වුණාට ජීවත් වෙන්න හේතු හොයන්න අපි හැමෝම මහන්සි වෙනවා...සමහර වෙලාවට හේතු මුණ ගැහෙනවා. ඒත් සමහර වෙලාවට හීන වෙනුවෙන් බලාපොරොත්තු විතරක්ම ගොඩගැහෙනවා.

No comments:
Post a Comment