Wednesday, October 19, 2022


සුවඳ දෙන සුදු පිච්ච මල් එකින් එක
වැටී ඇත පිච්ච පඳුර යට
ඒ එකින් එක මල් හැම එකක් පෙන්වා
කියන්නට කතාවක් පිච්ච පඳුරට තිබුණා

සතුටින් ම පිපි හිනැහුණ මල් අතර
හිනාවෙන්නට අමතකව සොවින් මියැදුන
දුක සතුට එකින් එක සමසිතින් විඳ දරා
ලෝකයට සෙනේ දුන් මල් පිපි තිබුණා

ලස්සනට පිපුණ මල් පූජාසනයේ
නෙළා ගත් කල පුදන්නට
මහා සන්තෝසයෙන්
හිනාවුණ දවස් පිච්ච පඳුරට තිබී තිබුණා

බඹරුන්ට නොපෙනී සැඟවුණු
රොන් සොයා බඹරු පැමිණුනු
සුවඳ මකරන්ද විහිදුනු
එකින් එක මල් ලස්සනට පිපි තිබුණා

පිපුණ ඒ මල් විතරක්ම නොවෙයි
සන්තෝසයෙන් පිදුණ මල් ඔක්කොම
මුකුලිතව මියැදිලා තිබුණා
මහා සංතාපයෙන් පිච්ච පඳුර උන්නා

ඒත් එකින් එක එකක් වත් නොවෙයි
මහපොළව සෙනේවන්තව
ඔක්කෝම මල් එක්වරට හදවතින්

වැළඳ ගෙන ඉන්නවා විතරක්ම දැක්කා 

Monday, October 3, 2022

 


මල් පිපුණු වත්තක වුණත්
ලස්සනට හැඩවෙලා
පිපෙන මල් තියෙනවා ලොවේ
රහසේම මුකුලිත වෙනා

සුවඳ පැහැයෙන් කාටත්
එක වගෙයි වෙනසක් නොපා
රොනට නොපැමිණි කෙනෙක්
එනතුරු සිටින මග බලා

දවස එකිනෙක ජීවිතේ මග
ගෙවෙන නිරතුරු සුසුම් සලා
නොලද හීනේක සිතින් වැලපී
මැරුණු මිනිසෙකි හුස්ම ගන්නා

එකම දේ ගැන නේක අයුරින්
කියු තරමට සිතට වෙහෙසම නිසා
නොමැති යමකින් යමක් ඉල්ලා
කුමට තව ජීවිතයේ වෙහෙසිලා

හුදකලාවක බරව දැනෙනා
මනසේ සිතුවම් පාට ගන්වා
ලොවට සතුටින් සිනාසීයන්
ඉතින් සබැඳිය, ජීවිතේ නම් "දුක" නිසා

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...