Friday, July 6, 2018

පසුතැවිලි

මරණයේ බිය දැණිනි. නමුත් කිසිවක්ම නොකළ බව විටින් විට සිහිගන්වමින් හිත කීරී ගෑවේය. බලාගෙන ඉද්දීම අසරණයෙක් අවසන් හුස්ම හෙළුයේ ඇතිවන සියල්ල නැතිවන බව පසක් කරවමිනි. නිදහසට කරුණු එකින් එක පෙළගැසෙණ මුත් ඒත් පණගැහුණු ජීවීතයකි.
නොකියාම නොදැනීම මෙලෙස එන වග දන්නේ නම් එන මග වළක්වන්නට තිබුණි. ඒත් ඇවිත් තිබුණි. ඇතැම් විට දුක සැප හැමදේම එකිනෙක පුරුදුව ගෙවූ ජීවීතේ වෙනසක් සොයාගෙන ආවා වෙන්නට පුළුවන. නමුදු ආයේමත් යන බලාපොරොත්තුවක් වත් දෙන්න නොහැකි බව දැනුණ නිසාවෙන්ම දොරගුළු විවර කළෙමි. ඒත් නොගියේය. වරක් දෙවරක් නොව කිහිප වරක් මාර්ගය පෙන්වූයේමි. එහෙත් නොගියේය. ජීවත් වන අවසන් මොහොත බව නොදැන නිමේෂයකට දැනුණ සිසිලසින් නැහැවෙවී සුව වින්දේය. බලා ඉන්නට බැරිම තැන එළියට ඇද දමන්නට උත්සහ කළෙමි. ඒත් දෑගීළී බදාගත්තේය. ආයෙමත් ආවේය.
මොන සුවයක් සොයා ආවාද නොදනිමි. ඒත් මරණය සොයා පැමිණි වග දැනුණි. හසරක් නොදැන ටිකින් ටික ඉදිරියට යන දෙස බලා ඉද බැරුව අලුත් නවාතැනක් සොයා දීමට ඉටා ගත්තෙමි. වා කවුළු පමණක් දී හුස්ම ගන්නට දෝතට ගුලි කරගතිමි. ඒත් වැඩි වෙලාවක් නොරැදිණි. අතරින් පතරින් පැන නිදහස සොයා ගියේය. කිසිවක් කළ නොහැකි කල අතැර දමා බලා සිටියෙමි.
ගෙවෙන තප්පර ගැන හැගීමක් නැතිව ඇති තරම් ප්‍රීතීමත් වනු බලා සිටියෙමි. සනුහරේ ළග උන්නේ නම් බෙදාගෙන කන කෑම තනිවම රස බලනු බලා සිටියෙමි. සතුටින් වෙන්නැති සිතුණෙමි. ඒත් මරණය කොයි මොහොතේ හෝ විය හැකිය සිත කෑ ගැසුවේය.
අතැර දැම්මාට දෝතින් විසිකර සිතින් බලා සිටිණු බව දැනුණෙමි. නැත, හිමි තරම් කාලයක් ජීවත්ව මියෙදෙයි.සියල්ලම එලෙසයි. සිත පහදාගෙන ඈත බලා සිටියෙමි. කොයිතරම් දුර ආවාදැයි මතකයක් නැත. ඒත් ගමනාන්තයට ළං වන්න හෝරාවක්වත් අවශ්‍ය බව මතකය. ආයෙමත් සොයන්නට මතක් වුණෙමි. සෙව්වෙමි. පෙනෙන තෙක් මානයේ හැම තැනම සෙව්වෙමි. සොයා ගන්නට නැත. තවත් සෙව්වෙමි. නැත. මියෙන්නට ඇත්ද ඒත් ජීවත්ව සිටීද නොදනිමි. ජීවීතයක නිම්හිම් සියල්ලම අතැර මියදුණ ජීවිතයක් ඇස් කොණකින් දුටුවෙමි.
හදිසියෙන් පිදුරුතලාගල සේ කඩා වැටී හුස්මක් නතර කර අසුන මත ඈ වාඩි වී සිටින බව ඈ නොදන්නා බව පැහැදිලිව දනිමි.

පව්..! ඌ ජීවත් කරවන්න තිබුණි. ආයෙමත් සිත කීරී ගසනවා දැනුණි.

No comments: